විදුසත් මෙහෙවර යනු සෑම දරුවෙකුටම අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය සුරක්ෂිත කිරීම , සැමට සමාන හා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ක්‍රියාත්මක වන සමාජ සත්කාරක සේවාවකි.

ආර්ථික දුෂ්කරතාවයන් සහ දහසකුත් අගහිඟකම් මැද අධ්‍යාපනය ලබන සහ විවිධ ආබාධයන් හේතුවෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා අහිමි වූ දරුවන්ට මෙන්ම දුෂ්කර පාසල් සදහා භෞතික හා මානව සම්පත් ලබාදී ඔවුන්ව සවිබල ගැන්වීම අපේ කාර්යභාරයයි. ඒ සදහා අපි ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා.

  • විදුසත් මෙහෙවර අන්තර්ජාල සමාජ සත්කාරක වේදිකාව
  • අධ්‍යාපන සම්පත් හුවමාරු වැඩසටහන
  • 'සයිබර් ලොවට පියාපත්' සෑම පාසලකටම මාර්ගගත අධ්‍යාපන පහසුකම් ලබා දීමේ වැඩසටහන
  • 'අනාගතයට හුස්ම පොදක්' පරිසර හා රුක් රොපණ වැඩසටහන
  • අධ්‍යාපන ශිෂ්‍යත්ව වැඩසටහන

උපකාර අවශ්‍ය ප්‍රතිලාභීන්, පරිත්‍යාගශීලීන් හා ස්වෙච්ඡා නිලධාරීන් අතර අන්තර් සම්බන්ධතාව ඇතිකරන වෙබ් අඩවියකි. vidusath.lk ඔස්සේ ඔබ මේ පිවිස සිටින්නේ එම වේදිකාව වෙතයි. මේ ඔස්සේ ඕනෑම අයෙකුට සිසුන්ට හා පාසල්වලට අවශ්‍ය උපකාර ඉල්ලුම් කිරීම සහ ලබාගැනීම සිදුකල හැකිය.

මුලින්ම ඔබ මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි විය යුතුයි. ඉන්පසු ඔබේ හෝ ඔබ පාසලේ ඉල්ලීමට අදාල උපකාර වර්ගීකරණය තොරාගත යුතුයි. ඉන් පසුව ලැබෙන ඔන්ලයින් ෆෝරමය නිවැරදිව සම්පූර්ණ කර යොමුකළ යුතුයි.

  • සෑම විටම සත්‍ය හා නිවැරදි තොරතුරු පමණක් ඉදිරිපත් කිරීමට වගබලා ගන්න.
  • පිලිගත් නිලධාරියෙකු ලවා සහතික කළ ලිපි, වෛද්‍ය වාර්තා හා වෙනත් සහතික කළ ලේඛණ ඉදිරිපත් කරන්න.
  • තොරතුරුවල නිවැරදිතාවය සනාථ කිරීම සදහා (විදුහල්පතිතුමා, විහාරාධිපති හිමි/පූජක තුමා, ග්‍රාම සේවා නිලධාරී, ප්‍රාදේශීය ලේකම් හෝ වෙනත් නිලධාරීන්) දෙදෙනෙකුගේ දුරකථන අංක ඉදිරිපත් කරන්න.
  • ප්‍රතිලාභියාගේ සහ පාසල්වල ඡායාරූප ඉදිරිපත් කරන්න.

ඔන්ලයින් ෆෝරමය සම්පූර්ණ කල පසු ඔබ ඉදිරිපත් කල තොරතුරු වල සත්‍ය හා නිරවද්‍යතාවය අප විසින් පරික්ෂා කරනු ලබනවා. තොරතුරුවල සත්‍යතාවය සනාථ කරගැනීමෙන් පසු පැය 24 ක කාලයක් ඇතළත ඔබගේ උපකාර ඉල්ලීම පරිත්‍යාගශීලීන්ගේ දැන ගැනීම සදහා වෙබ් අඩවියේ පලකිරීම සිදුවෙනවා.

ඔව්. උපකාර ඉල්ලීම සිදු කරන්නේ ප්‍රතිලාභියා වෙනුවෙන් වෙනත් අයෙකුද යන්න ඔන්ලයින් ෆෝරමයේ සදහන් කළ යුතුයි.

යම් ඉල්ලීමකට අදාලව පරිත්‍යාග ලැබීමටනම් ඒ සදහා සම්පත් දායකයකු (පරිත්‍යාගශීලියෙකු) ඉදිරිපත් විය යුතුයි. ඔබගේ ඉල්ලීම නිවැරදි තොරතුරු සහිතව ආකර්ෂණිය ලෙස ඉදිරිපත් කිරීමෙන් සම්පත් දායකයන්ගේ අවධානය ඉක්මනින් ලබාගත හැකියි.

ඉල්ලීමකට අදාලව උපකාර කිරීමට සම්පත් දායකයෙකු ඉදිරිපත් වූ විට ඔහුව සෘජුවම, ඉල්ලීම් ඉදිරිපත් කළ ප්‍රතිලාභියා සමග සම්බන්ධ කරනවා. සම්පත් දායකයාගේ අභිමතය අනුව පරිත්‍යාගය ප්‍රතිලාභීන් අතටම පත්කරනු ඇත. සම්පත් දායකයාගේ කැමැත්ත පරිදි එම පරිත්‍යාගය අප හරහා, අපගේ ස්වෙච්ඡා නිලධාරියෙකු මාර්ගයෙන්ද ප්‍රතිලාභින් අතට පත්කිරීම සිදු වනවා.

කිසිසේතම නැත. මෙය සම්පූර්ණයෙන්ම නොමිළේ ලබා දෙන සේවාවක්. උපකාර ඉල්ලීම සහ ලබා ගැනීම සදහා ඔබ කිසිදු මුදලක් වියදම් කළ යුතු නැහැ. තවද විදුසත් මෙහෙවර වේදිකාව ක්‍රියාත්මක වන්නේ, මුදල් වියදමකින් තොරව එම සේවා සැපයීමට කටයුතු කරන පරිත්‍යාගශීලීන් සදහා පමණි.

ප්‍රතිලාභීන් හෝ ඒ වෙනුවෙන් වෙනත් අය විසින් යොමු කරන ලද ඉල්ලීම් වෙබ් අඩවියේ පලකර තිබෙනවා. මෙම යොමුව ඔස්සේ එම ඉල්ලීම් වෙත පිවිසිය හැකියි. එහි දැක්වෙන් උපකාර වර්ගීකරණයන් යටතේ සහ ඔබ කැමති ප්‍රදේශයක ප්‍රතිලාභියෙක් තෝරා ගැනීම කල හැකියි.

උපකාර ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සදහා,

  1. උපකාර ඉල්ලීමට අදාල පිටුවේ ඇති ෆෝරමයේ ඔබේ නම, දුරකථන අංකය ඇතුළත් කර අපවෙත යොමු කල යුතුයි. ඉන් පසුව අපගේ නිලධාරියෙකු හැකි ඉක්මනින් ඔබව සම්බන්ධ කර ගැනීමට කටයුතු කරනු ඇත.
  2. එසේ නැතිනම්
    • (+94) 0113-288-688
    • (+94) 077-0653-999
    • (+94) 071-7471-560
    • (+94) 077-2060-176

යන අපගේ දුරකථන අංකවලට අමතා ප්‍රතිලාභියා සම්බන්ධ කර ගැනීම සදහා ඔවුන්ගේ දුරකථන අංක ලබාගත හැකියි.

මෙහි පලකරන්නේ සත්‍ය හා නිවැරදිතාවය තහවුරුකරගත් උපකාර ඉල්ලීම් පමණයි. වැඩිදුරටත් සනාථ කරගැනීම සදහා ප්‍රතිලාභීන් විසින් යොමු කර ඇති (විදුහල්පති/ග්‍රාම නිලධාරී/ප්‍රාදේශීය ලේකම්) හෝ වෙනත් නිලධාරියෙකු සමග සම්බන්ධ විය හැකියි.

සෘජුවම ඔබගේ සුරතින්ම පරිත්‍යාගය ප්‍රතිලාභීන් අතට පත්කළ හැකියි. එසේ නොහැකිනම් අප හරහා අපගේ ස්වේච්ඡා නිලධාරියෙකු මාර්ගයෙන් පරිත්‍යාගය ප්‍රතිලාභීන් වෙත යොමුකල හැකියි.

පරිත්‍යාගශීලීන් හා ප්‍රතිලාභීන් අතර සම්බන්ධීකරණය ඔවුනට පැවරෙන මූලික කාර්යභාරය වේ. ඊට අමතරව පහත සදහන් වගකීම් ඔවුන් දැරිය යුතු වනවා.

  • එම නිලධාරියාගේ ප්‍රදේශයේ උපකාර ලැබිය යුතු පාසල් හා අඩු ආදායම්ලාභී සිසු දරුවන් පිළිබදව ලබාගත් තොරතුරු විදුසත් මෙහෙවර වෙත යොමු කිරීම.
  • පරිත්‍යාගශීලීන් විසින් ලබාදෙන ආධාර, ප්‍රතිලාභීන්වෙත යොමුකිරීම.
  • විශේෂ ව්‍යාපෘති සදහා මැදිහත්වීම සහ සම්බන්ධීකරණ කටයුතු

මෙම යොමුව ඔස්සේ ලැබෙන ඔන්ලයින් ෆෝරමයේ මූලික තොරතුරු ඇතුළත් කර යොමු කළ යුතුයි. ඉන්පසු ඔබේ අනන්‍යතාවය තහවුරුකරගත් පසුව ස්වෙච්ඡා නිලධාරියෙකු ලෙස විදුසත් මෙහෙවර සමග කටයුතු කළ හැකියි.

භාවිතා කල, නොකල, තවදුරටත් භාවිතයට ගත හැකි අධ්‍යාපනික සම්පත් නැවත භාවිතය සදහා අවශ්‍යතා ඇති තවත් ශිෂ්‍යයෙකු වෙත ලබා දෙන වැඩසටහනක්.

  • පොත් පත්, නිබන්ධන, සටහන් පොත් ආදිය.
  • සපත්තු, නිල ඇදුම්, බෑග් ආදිය.
  • පරිගණක, ක්‍රීඩා උපකරන. පන්තිකාමර උපකරණ ආදිය.
  • සෙල්ලම් බඩු.

භාවිතා කළ එහෙත් තව දුරටත් ප්‍රයෝජනයට ගත හැකි උපකරණ විය යුතුය. පොත් පත් පරිත්‍යාග කිරීමේදී කාවුන් වැනි සතුන් කා දමා, පිටු ගැලවී හෝ දියබත් වී විනාශ වී ගිය ඒවා නොවිය යුතුය.

පරිගණක, ක්‍රීඩා උපකරණ වැනි දෑ ක්‍රියාකාරී තත්ත්වයේ තිබිය යුතුය.

පාවහන්, ඇදුම්, බෑග් ආදිය ඉරී නොගිය ඒවා විය යුතු අතර ඉතා පිරිසිදු තත්ත්වයේ තිබිය යුතුය.

මෙම යොමුව ඇති ඔන්ලයින් ෆෝරමය ඔස්සේ ඔබ සතු භාණ්ඩ පිළිබදව අපව දැනුවත් කළ හැකියි. ඒ ඔස්සේ දැනට අප වෙත උපකාර ඉල්ලීම් ලැබී ඇති සිසුන් හා පාසල් සම්බන්ධකරගෙන එම උපකරණ සියතින්ම පරිත්‍යාග කල හැකිය.

ඔබ තනිව හෝ සංවිධානාත්මකව එකතු කළ එවැනි භාණ්ඩ අප වෙත ලැබීමට සැලැස්විය හැකියි. ඉල්ලීම් ලැබෙන ප්‍රමුඛතාවය මත උපකාර අවශ්‍ය සිසු දරුවන් අතට පත්කිරීම සිදුවනු ඇත.