දැරණියගල, පල්ලෙබාගේ සිසු දරුවන්ට (SLIIT METRO - 2018) සොයුරු සත්කාරය

දහසකුත් බාධක අගහිඟකම් මැද දියුණුවේ මං දොරටු සොයා යන දූෂ්කර ගම්මානයක් වූ දැරණියගල, පල්ලෙබාගේ ග්‍රාමයේ ජීවත් වන, පුවක් මල් කිනිත්තකින් පැන් පොදක් ඉස විකසිත කළ හැකි පුංචි මල් කැකුළු හෙට ලොව දිනන්නට සිය දැනුම එක් රැස් කරගන්නට පිය මනින තක්සලාව වූ පල්ලෙබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන පුංචි දූවා දරුවන්ගේ නැණ පෑදීමට “විදුසත් මෙහෙවර“ වෙත යොමු කළ ඉල්ලීම කාරුණිකව ඉටු කිරීමට “සොයුරු සත්කාර“ මගින් ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කොල්ලූපිටිය මණ්ඩපය (SLIIT METRO) - 2018 අධ්‍යයන වර්ෂයේ සිසුන් ඉදිරිපත් වන ලදී.

හෙට ලොව එළිය කරන්නට මඩෙහි පිපෙන්නා වූ සුවඳවත් නෙළුම් මල් පොකුරු පිටින් නෙලාගන්නට පල්ලෙබාගේ ග්‍රාමයෙන් “දැයට අහිමිවන්නට යන විදූ පියසකට යළි ජීවය දෙමු  - සොයුරු සත්කාර ව්‍යාපෘතිය“ සාර්ථක කර ගැනීමට අප ආයතනයේ ගුරු දෙගුරුන් වන අංජලී ගමගේ මහත්මිය, ජානකී ද සිල්වා මහත්මිය, ප්‍රසන්න සුමතිපාල මහත්මා, පණ්ඩුක මල්ලවාරච්චි මහත්මා විසින් පූර්ණ අධීක්ෂණය ලබා දෙන ලදී. මෙම ආයතනයේ ඉගෙනුම ලබන පළමු වසර සොයුරු සොයුරියන්ගේ ද (2019 අධ්‍යයන වර්ෂයේ) සිසුන් අපට මහඟු අත්වැලක් වන ලදී.

මෙම සැම දෙනාගේ සවිය ඇතිව 2018 අධ්‍යයන වර්ෂයේ (දෙවන වසර) සිසුන්ගේ උනන්දූව හා වෙහෙස මහන්සියේ ඵල ගැන්වුමක් ලෙස දරුවන් 57 දෙනෙකුට අවශ්‍ය පාසල් උපකරණ, පාසලට අවශ්‍ය උපකරණ, ආහාර පාන හා ක්‍රීඩා උපකරණද සමග තෑගි බෝග ද රැගෙන ජූලි 17 වන දින ඔවුන්ගේ මුහුණ පුරා සිනහව රඳවන්නට ඔවුන් සොයා යන ලදී. එදින ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බවට පත් කිරීමට තෑගි බෝග පමණකින් නොව ගී රස වින්දනයක් ලබා දීමට අපි අමතක නොකළෙමු.

මිරිවැඩි නැත පළඳින්නට අප හට
සුවඳට නැත පොත අකුරු කරන්නට
ලොකු පොඩි කාටත් ඇත දිවි පෙවතට
ළං වන්නට සිත රැඳි ඒ  සිහිනෙට

(SLIIT METRO) කොල්ලුපිටිය මණ්ඩපය - 2018 සිසු කැළ