සේරුවාවිල, මහින්දපුර දූ පුතුන්ගේ මුවගට සිනා මල් අරන් ගිය දා...

දහසකුත් වූ බාධක අගහිගකම් මැද හෙට ලොව දිනන්නට වෙර දරන අපේම දූ පුතුන්ට සවියක් වෙමින් රටවටා යන ‘විදුසත්‘ මෙහෙවර චාරිකාවේ මෙවර නවාතැන වූයේ සේරුවාවිල, සේරුනුවර මහින්දපුර ගම්මානයයි.

මහින්දපුර, අවස්ථා කිහිපයකදීම ත්‍රස්තවාදී  ප්‍රහාරවලට ලක්වූ ගම්මානයක්, එදා සියල්ල අහිමිව ජීවිතය පමණක් ඉතිරි වී, අදත්  කිසිවෙකුගේ හව්හරණක් නොලබමින්, දරිද්‍රතාවයේ පතුලේ ජීවිතය යදින ඒ දෙමාපියන්ගේ දරුවන් ට සවියන් වන්න යන කාරුණික ඉල්ලීම අපවෙත යොමු කළේ පූජ්‍යපාද මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්වහන්සේයි.

එම ඉල්ලීම ඉටුකරමින් සේරුවිල, මහින්දපුර ග්‍රාමයේ පාසල් දරුවන් එකසිය හත් දෙනෙකු සදහා සවියක් වන්නට සිය කාරුණික දෑත දිගු කළේ එක්සත්  රාජධානියේ පදිංචි ඩිම්පල් හේරත් මැතිණියයි. පොත්පත්, උපකරණ නොපිරිහෙලා සපයා දී, දරුවන් අතට පත් කරනතුරු බරපැණ දරමින්, උපන් බිමෙන් දුරු රටක සිටියත්, මාතෘභූමියේ අසරණ දුවා  දරුවන් වෙනුවෙන් සෙනෙහසේ දෑත් දිගුකළ එතුමියට අපගේ හෘදයාංගම ස්තූතිය හිමිවනවා.

එමෙන්ම, ‘මනුසත්දම් සමාජ සත්කාරක සේවයේ‘ ඉල්ලීම පරිදි බෑග් සදහා දායකත්වය සැපයූ, කොළඹ අක්ෂි රෝහලේ ශල්‍ය වෛද්‍ය  රාජිත අබේසිංහ මැතිතුමන් ඇතුළු එතුමන්ගේ කළණ මිතුරන්ටත්, පාසල් දරුවන් සදහා කවකටු පෙට්ටි සපයා දුන් බ්‍රිතාන්‍යයේ වෛද්‍ය තිසරු වැල්ලගේ මහත්මියටත් හදපිරි ස්තූති ප්‍රණාමය පුදකර සිටිනවා.

එමෙන්ම පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන්වහනසේ විසින් ලබාදුන් පොත්පත් හා පාසල් උපකරණද, තෑගි ලැබූ දූ පුතුන්ට අමතරව පැමිණ සිටි පෙරපාසල් යන වයසේ පුංචි පැංචන්ගේ මුවගට සිනාවක් එක් කිරීමට මහත් රුකුලක් වූවා.

ත්‍රස්තවාදයෙන් බැට කමින්, සියල්ල අහිමිවී ඉරිතැලී ගිය ජීවිත යළි ගොඩ ගැනීමට, හරිහමන් ජීවිකාවක්, වගාවට බිම් අගලක අයිතියත් අහිමිව, වන අලි තර්ජණයෙන්ද පීඩා විදිමින් ජීවිත සටනක නිරතව සිටින අපේම සහෘදයන්ගේ දූපුතුන්ගේ මුවගට සිනාවක් ගෙන ඒමට හැකිවීම පිලිබද පහන් සිතිවිල්ලත් සමග අපි සේරුවිලින් සමුගන්නේ,  කාරුණික ඔබේ හදවතද ඔවුන් වෙනුවෙන් විවර කරන්නැයි යන හෘදයාංගම ඉල්ලිමද ඔබ හමුවේ තබමින්.