කිතුල්ගල, මහබාගේ කණිටු විදුහලේ සිසු දරුවන්ට පාසල් උපකරන පරිත්‍යාග කිරීම

දෙහිඕවිට අධ්‍යාපන කළාපයේ, දුණුකේදෙණිය මහබාගේ කණිෂ්ඨ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියට අලුතින්  ඇතුළත් වූ සහ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දූ පුතුන් වෙනුවෙන් 2019 වසර සදහා පාසල් පොත් පත් උපකරණත්  අරන් අපි (2012.12.30) ගියා ඔවුන් සොයාගෙන. 


ඒ  සදහා පූර්ණ අනුග්‍රාහය දැක්වූයේ  කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය රාජිත අබේසිංහ මැතිතුමා සහ එතුමන්ගේ සම්බන්ධීකරණයෙන් වෛද්‍ය මෆ්රාස්, වෛද්‍ය තිසේරා, වෛද්‍ය රසාන්ගි, වෛද්‍ය හේමමාලි, විශේෂඥ වෛද්‍ය නවමාලිකා, ඖෂධවේදී තරිදු, අර්නස්ට්  මහතා, ලලින්ද්‍ර මහතා, ශිරෝමි මහත්මිය, මන්ජරී මහත්මිය, ශාරි මල්ලවාරච්චි මහත්මිය, නන්දනී ධම්මි මහත්මිය ඇතුළු රෝහල් වෛද්‍ය කාර්යමණ්ඩලයයි.

උපකාර ඉල්ලීමට කාරුණික අවධානය යොමු කරමින් පැය 12ක් යෑමටත් මත්තෙන් සියළු ප්‍රතිපාදන සපයා දුන් මනුසත්කමින් පොහොසත් ඒ සොදුරු මිනිසුන්ට මහබාගේ දරුවන් වෙනුවෙන් විදුසත් මෙහෙවරේ උත්තමාචාරය පුද කරන ගමන්ම, මේ  සියල්ල සම්බන්ධීකරණය කරමින් පාසල් උපකරණ කද මළු බැදන් දඹුල්ලේ සිට කාලය, ශ්‍රමය, ධනය වැයකර දුණුකේදෙණියට ආ විදුසත් මෙහෙවරේ මානව සම්පත් සම්බන්ධීකරණ නිලධාරී, මනුසත්දම් සමාජ සත්කාරක සේවයේ නිර්මාතෘ පාලිත වීරකෝන් සහෘදයාණන් සිහිපත් කරන්නේද මහත් ගෞරවයෙන්. අද මෙහෙවරේ නිමැවුම්කරුවා ඔහුයි. විදුසත් මෙහෙවර අධ්‍යක්ෂ රජිත ධර්මසේන, විදුසත් මෙහෙවර ප්‍රධාන සංවිධායක තරංග නුවන්, තුෂාර සම්පත් සහෘදයන්ද මේ අවස්ථාවට සහභාගී වූ අතර, මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සදහා සහය දැක්වූ විදුහල්පතිනියටත්, ප්‍රාථමික අංශය භාර පියසීලී ගුරු මහත්මියටත්, ගෞරවණීය ස්තූතිය පුදකළ යුතුයි.

අතිමහත් දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනුම්/ඉගැන්වීම් කටයුතු සිදුවන, කදු මුදුණක හුදකලා වූ පාසලක් වුවත්, විෂය සමගාමී ක්‍රියාකාරකම්වලින්  සබරගමුවේ විෂිශ්ඨතම කණිෂ්ඨ පාසල ලෙස 2013, 14,15,16 වසරවලදී සම්මානයෙන් පිදුම් ලද දක්ෂයන්ගේ තෝතැන්නක්. සබරගමු පළාත් ‘තත්ත්ව කව‘ තරගාවලියේදී ප්‍රථම ස්ථානයත්, අධ්‍යාපන පර්යේෂණ පත්‍රිකා තරගාවලියේ සමස්ථ ලංකා දෙවන ස්ථානයත් දිනාගැනීමට පාසලේ දරුවන් සමත් වූ බවයි විදුහල්පතිනිය අප සමග පැවසුවේ.

දුගී බවින් පීඩිතව ජීවන අරගලයක නිරතව සිටින අඩු  ආදායම්ලාභී දෙමාපියන්ගේ මේ දරුවන්ට සහ පාසලට අඩුපාඩුවක්ව පවතින භෞතික සම්පත් සපයා දුන්නොත්, මීටත් වඩා දස්කම් පෑමට මේ දරුවන්ට හැකිවන බවත් පැවසූ විදුහල්පතිනිය ඒ සදහා උපකාර කරන ලෙසද ඉල්ලීමක් කළා.

කිසිවෙකුගේ අවධානයෙන් ගිළිහී හුදකලා වුණු මෙවැනි දුෂ්කර පාසල්වල, ලෝකයක් දිනන්නට තරම් දස්කම් ඇති දූ පුතුන් කි දහසකගේනම් ආර්ථික අපහසුතා නිසා අධ්‍යාපනය අතරමග නවතිනවාද ඇත්දැයි අපට ඇතිවූයේ දැඩි සංවේගයක්. වගේම අපි මහබාගේ විදුහලෙන් පිටත් වූණේ තවත් එවැනිම දූපුතුන් පිරිසකට “කැළේ පිපී කැළේම පරව යෑමට“ ඉඩ නොදී යන්තම් හෝ දිරියක් වීමට හැකිවීම පිළිබදව සියුම් සතුටක් සහ වෛද්‍ය රාජිත අබේසිංහ මහත්මා ඇතුළු කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය පිළිබදව කෘතඥපූර්වක ගෞරවණීය හැගීමක්ද ඇතිවයි...